මෝටර් වාහනවල අන්තරාදායක කොටස් සවි කිරීම, අධි ශබ්ද නිකුත් කරන සයිලන්සර භාවිතය සහ නීති විරෝධී නවීකරණයන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. මහජනයාට සිදුවන පීඩාවන් වැළැක්වීම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
නිෂ්පාදකයා ලබා දුන් සයිලන්සර පද්ධතිය වෙනස් කර අධික හෝ කඨෝර ශබ්ද නිකුත් කිරීම, නිවී නිවී දැල්වෙන වර්ණ පහන් (Strobe lights) සවි කිරීම, විවිධ නලා (Air horns) භාවිතය සහ වාහනවල හැඩය හෝ වර්ණය වෙනස් කිරීම මෝටර් වාහන ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. මෑත කාලීන අනතුරු නිරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ බොහෝ පෞද්ගලික බස් රථ නිසි යෝග්‍යතා සහතික නොමැතිව මෙලෙස අන්තරාදායක ලෙස නවීකරණය කර ඇති බවයි.
එසේම, වාහනවලින් කළු දුම පිටවීම පිළිබඳව මහජනතාවට පැමිණිලි කිරීමට අවස්ථාව සලසා දී ඇත. 070 3500525 යන වට්ස්ඇප් (WhatsApp) අංකය වෙත අදාළ වාහන අංකය, ස්ථානය සහ දිනය සහිත තොරතුරු යොමු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි. මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් රියදුරන්ට සහ මගීන්ට පීඩාවක් වන අයුරින් රිය ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව අඛණ්ඩව වැටලීම් සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.














