ආන්දෝලනාත්මක එයාර් බස් (Airbus) ගනුදෙනුවට අදාළ විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබා ගැනීම් සම්බන්ධයෙන් දැනට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. එම ගනුදෙනුව සිදුවූ කාලසීමාවේ රටේ පාලකයා ලෙසත්, අදාළ තීරණ සම්බන්ධයෙනුත් කරුණු විමසීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවා ඇත.
මීට අමතරව, එම වකවානුවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පියංකර ජයරත්න මහතාට ද අදාළ විමර්ශන සඳහා පෙනී සිටින ලෙස අල්ලස් කොමිසම දැනුම් දී ඇති බව වාර්තා වේ. පසුගිය පාලන සමයන්හි සිදුවූ මහා පරිමාණ මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් වත්මන් රජය ආරම්භ කර ඇති නීතිමය ක්‍රියාමාර්ගවල තවත් එක් පියවරක් ලෙස මෙය සැලකේ.














