මාලදිවයිනේ විලා නෝටිකා (Villa Nautica) හිදී පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද දිවයිනෙන් බැහැරව යාමට නියමිතය. මැයි 14 වනදා දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී සමුළුව සඳහා ආසියානු කලාපයේ රටවල් රැසක ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, වෘත්තිකයින් සහ පර්යේෂකයින් විශාල පිරිසක් එක්ව සිටිති. මාලදිවයින් රජයේ නියෝජිතයින්ට අමතරව බංග්ලාදේශය, ටිමෝරය වැනි රටවල ක්ෂේත්‍රයේ ප්‍රධානීන් මෙන්ම BIMSTEC සහ SAARC සංවිධානවල මහලේකම්වරුන් ද මීට සහභාගී වේ. මෙම සමුළුවේ සිව්වන සැසියේ ප්‍රධාන දේශනය අමාත්‍යවරයා විසින් සිදු කිරීමට නියමිත අතර එහිදී මාධ්‍ය ප්‍රතිපත්ති, තොරතුරු ප්‍රචාරණය සහ මාධ්‍ය වෘත්තීයභාවය වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.















