අම්බලන්තොට මාමඩල ප්‍රදේශය දැඩි කම්පනයට පත් කරමින් සිදු වූ අතිශය අමානුෂික ඝාතනයක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු වාර්තා වනවා. මාමඩල දකුණ බෝකුටුයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි තිදරු පියෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර එම සිද්ධියේදී ඔහුගේ බිරිඳගේ පියාටද බරපතළ තුවාල සිදු කර තිබීම විශේෂත්වයක්. පුද්ගලයින් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිවසටම කඩා වැදී මෙම අපරාධය සිදු කර ඇති අතර, ඝාතනයෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ හිස කඳින් වෙන් කරගෙන ගොස් මාමඩල මංසන්දියේ පිහිටි පිළිරුවක් මත තබා යාම ප්‍රදේශවාසීන්ගේ දැඩි භීතියට හේතු වී තිබෙනවා.
පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය පසුගිය වසරේ ජනවාරි මස අම්බලන්තොට ඇලේගොඩ ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයකට සම්බන්ධ පළිගැනීමක් විය හැකි බවයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා එම ත්‍රිත්ව ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30 වනදා ඇප මත නිදහස්ව පැමිණි අයෙකු බව තහවුරු වී තිබෙනවා. ඝාතකයින් පලා යාමේදී ඔවුන් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද එම ස්ථානයේම දමා ගොස් ඇති අතර අම්බලන්තොට පොලීසිය මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.














