ප්‍රංශයේ ප්‍රමුඛ ආරක්ෂක සහ සයිබර් ආරක්ෂණ සමාගමක් වන තේල්ස් (Thales) සහ ඒරියන්ගෲප් (ArianeGroup) එක්ව නිපදවන ලද ‘FLP-t 150’ නමැති නව දිගු දුර රොකට් විදින පද්ධතියේ ප්‍රථම අත්හදා බැලීම සාර්ථකව සිදු කර ඇති බව එම සමාගම් නිවේදනය කරයි.
මෙම මස මුලදී පවත්වන ලද පළමු පියාසර පරීක්ෂණය මගින් පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ අධ්‍යයනයන්හි නිවැරදිභාවය මැනවින් තහවුරු වී තිබේ. FLP-t 150 පද්ධතිය මගින් විදිනු ලබන රොකට් වලට කිලෝමීටර 150 (සැතපුම් 93) කට වඩා දුරින් පිහිටි ඉලක්ක වෙත ළඟා වීමේ හැකියාව පවතින බව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එම සමාගම් සඳහන් කළේය.
යුක්රේන සහ මැදපෙරදිග යුද ගැටුම් මෙන්ම නේටෝ (NATO) සංවිධානය සම්බන්ධයෙන් පවතින ගෝලීය අවිනිශ්චිතතාව සැලකිල්ලට ගනිමින් ප්‍රංශය සිය ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇත. ඒ අනුව 2030 වසර දක්වා යුරෝ බිලියන 36 ක අමතර ප්‍රතිපාදන වෙන් කරමින් මිසයිල සහ ඩ්‍රෝන සංචිත ශක්තිමත් කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇති අතර, මෙම නව රොකට් පද්ධතිය එම ක්‍රියාවලියේ සුවිශේෂී පියවරකි.















