ලොව හුදකලාම රාජ්‍යයක් ලෙස සැලකෙන උතුරු කොරියාවේ පියොංයැං (Pyongyang) අගනුවර තුළ ප්‍රථම වරට රථවාහන තදබදයක් සහ වාහන නැවැත්වීමේ ඉඩකඩ (Parking) පිළිබඳ ගැටලුවක් උද්ගත වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ජාත්‍යන්තර සම්බාධක මධ්‍යයේ වුව ද එරට ප්‍රභූ පැලැන්තිය සහ ව්‍යවසායකයන් අතර පෞද්ගලික වාහන භාවිතය ඉහළ යාම මීට හේතුවයි.
පසුගිය වසර දෙක තුළ උතුරු කොරියානු නීති සංශෝධනය කරමින් පෞද්ගලික වාහන හිමිකාරිත්වයට අවසර ලබා දී තිබේ. ඒ අනුව බලපත්‍රලාභී රියදුරන්ට රජය මගින් සහතික කළ අලෙවිකරුවන් හරහා නිවසකට එක් වාහනයක් බැගින් මිලදී ගැනීමට අවස්ථාව හිමිව ඇත. චීනයෙන් එරටට ලැබෙන ටයර්, ලිහිසි තෙල් සහ වාහන අමතර කොටස්වල විශාල ඉහළ යාමක් පෙන්නුම් කරන බව චීන රේගු දත්ත වාර්තා කරයි.
නවතම චන්ද්‍රිකා ඡායාරූප සහ සංචාරකයන්ගේ වාර්තාවලට අනුව, පියොංයැං නගරයේ හෝටල් සහ වෙළඳපොළවල් ආශ්‍රිතව වාහන පිරී පවතින අතර, විදුලි වාහන (EV) සඳහා ආරෝපණ මධ්‍යස්ථාන ද අලුතින් ඉදිවෙමින් පවතී. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා ද පසුගියදා වාහන සේවා මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් එරට වර්ධනය වන වාහන සංස්කෘතිය තහවුරු වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















