යුරෝපා සංගමයේ 2028-2034 කාලසීමාව සඳහා වන යුරෝ ට්‍රිලියන 2ක දැවැන්ත අයවැය සැලසුම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව සහ කොමිසම අතර බරපතල අර්බුදයක් නිර්මාණය වී තිබේ. එළඹෙන මැයි 18 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව විසින් අයවැය සඳහා අතිරේක යුරෝ බිලියන 200ක මුදලක් ඉල්ලා සිටීමට නියමිත අතර එම ඉල්ලීම ඉටු නොවන්නේ නම් සමස්ත මූල්‍ය සැලසුමම නිෂේධ (Veto) කරන බවට මන්ත්‍රීවරු අනතුරු අඟවති. උර්සුලා වොන් ඩර් ලේයන්ගේ කොමිසම විසින් පනවා ඇති දැඩි වියදම් සීමාවන්ට පාර්ලිමේන්තුව විරෝධය පළ කරන අතර ජර්මනිය සහ නෙදර්ලන්තය වැනි රටවල් වත්මන් වියදම් සීමාවන් පවා ඉහළ මට්ටමක පවතින බව පවසද්දී පාර්ලිමේන්තුව ඉල්ලා සිටින්නේ අයවැය සියයට 10කින් ඉහළ නංවන ලෙසයි.
නව ආරක්ෂක සහ කෘත්‍රිම බුද්ධි (AI) ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේදී ගොවීන් හෝ ප්‍රාදේශීය සංවර්ධන ආධාර කප්පාදු නොකළ යුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවරය වන අතර කොවිඩ් වසංගත සමයේ ලබාගත් ණය ආපසු ගෙවීමේ පිරිවැය අයවැයෙන් වෙන් කොට දැක්විය යුතු බවට ද මන්ත්‍රීවරු තර්ක කරති. මෙම මූල්‍ය එකඟතාවයට කඩිනමින් එළඹීමට ප්‍රංශය ද සිය අකමැත්ත පළ කර ඇති අතර ඔවුන් පවසන්නේ මෙය “හදිසි” තීරණයක් නොවිය යුතු බවයි. මෙම අයවැය සැලසුම පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළහොත් 2028 වසරේ ආරම්භ වීමට නියමිත මූල්‍ය චක්‍රය ප්‍රමාද වීමේ අවදානමක් පවතින අතර එය යුරෝපා සංගමයේ අනාගත ආයෝජනවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.















