ගාල්ල ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ හිඟයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව රෝහල් පාලනාධිකාරිය නිවේදනය කරයි. රෝහල පවසන්නේ හෘද රෝගීන් සඳහා සිදුකරන ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සහ ස්ටෙන්ට් ප්‍රතිකාර කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුකරන බවයි. එම ප්‍රතිකාර සඳහා අවශ්‍ය ස්ටෙන්ට් මෙන්ම බැලූන වර්ග සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ද ප්‍රමාණවත් පරිදි රෝහල සතුව පවතින බව එහි සඳහන් වේ.
මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල වෙත තවත් නව ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක් ලබා දී ඇති අතර එහි සවිකිරීම් කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. ඉදිරියේදී පිළිකා ඒකකය සඳහා නවීන යන්ත්‍ර සූත්‍ර රැසක් සහ දෙවන MRI යන්ත්‍රයක් ද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව පවසන රෝහල් බලධාරීන්, විපක්ෂ නායකවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ රෝහලෙන් විධිමත් කරුණු විමසීමකින් තොරව බව අවධාරණය කරයි.














