ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයියර් නසීර් (විශ්‍රාමික) මහතා සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා අතර විශේෂ නිල හමුවක් පසුගියදා කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. එහිදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරයා වෙත සිය රාජ්‍යතාන්ත්‍රික සේවාව සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක් කළ අතර දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ආරක්ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ කලාපීය ආරක්ෂක සම්බන්ධීකරණය වර්ධනය කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කරගත්හ. විශේෂයෙන්ම වර්තමාන ලෝකයේ ආපදා කළමනාකරණය ජාතික ආරක්ෂාවේ අනිවාර්ය අංගයක් වී ඇති බවත්, දේශගුණික විපර්යාස හමුවේ තාක්ෂණය පදනම් කරගත් ක්‍රියාකාරී ප්‍රතිචාර දැක්වීමක ඇති වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරිණි. මීට අමතරව, දේශසීමා ඉක්මවා යන සමුද්‍රීය අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි තර්ජනයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙරටම එකඟතාව පළ කළහ. මෙම අවස්ථාවට පාකිස්ථාන ආරක්ෂක උපදේශකවරයා ද සහභාගී විය.














