බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට එල්ල වූ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය. සැකකාර හිමියන් අද දින අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණ ද, එම නියෝගය මෙතෙක් තම අධිකරණයට ලැබී නොමැති බවත් සැකකාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටින පසුබිමක එවැනි නියෝගයක් නිකුත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කළේය.
සැකකාර හිමියන් නිරීක්ෂණය කර මැයි 12 දක්වා බන්ධනාගාරගත කිරීමට මුල් නියෝගය ලබා දුන් මහේස්ත්‍රාත්වරයා විසින්ම ඉදිරි නියෝග ද නිකුත් කළ යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, මෙම නඩුව ලබන 15 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය. එදිනට විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිට්ටඹුව පොලිසියට නියෝග කෙරුණු අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සඳහන් කළේ තම සේවාදායකයාට එල්ල වන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.














