ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2026 වසරේ අප්‍රේල් මාසය වන විට අමෙරිකානු ඩොලර් මිලියන 767.9 ක ඉහළ අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙය 2025 වසරේ අප්‍රේල් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 646 ක අගයට සාපේක්ෂව සියයට 19 ක කැපී පෙනෙන වර්ධනයකි. ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව 2026 වසරේ මුල් මාස හතර තුළ පමණක් මෙරටට ලැබී ඇති මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,062.8 කි.
රජය විසින් පුහුණු ශ්‍රමිකයින් සඳහා නව රැකියා වෙළෙඳපොළවල් හඳුන්වා දීම සහ විදේශ ශ්‍රමික සුභසාධන ප්‍රතිලාභ පුළුල් කිරීම හේතුවෙන් ලාංකිකයන් විදෙස් රැකියා සඳහා යොමුවීම ඉහළ ගොස් ඇති බව පෙනී යයි. ඒ අනුව 2026 වසරේ මුල් මාස හතර තුළ පුද්ගලයන් 79,954 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් (17,012 ක්) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වන අමෙරිකානු ඩොලර් බිලියන 8 කට අධික ආදායමක් 2025 වසරේදී වාර්තා වීම ද මෙහිදී විශේෂත්වයක් ලෙස සැලකේ.















