දිවයිනට බලපා ඇති තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (12) පියවර ගෙන තිබේ. මෙම නිවේදනය අද පස්වරු 4:00 සිට හෙට (13) පස්වරු 4:00 දක්වා වලංගු වන බව සඳහන් වේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ (තැඹිලි) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශයේ ජනතාව නායයෑමේ ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යාමට සූදානමින් සිටිය යුතුය.
පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙලටත්, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිටටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, පාතහේවාහැට, යටිනුවර, ගඟ ඉහළ කෝරළේ, අකුරණ, ගඟවට කෝරළේ, දොළුව, පස්බාගේ කෝරළේ සහ පන්විල යන ප්‍රදේශවලටත් නිකුත් කර ඇත. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රඹුක්කන, මාවනැල්ල, කෑගල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රදේශ ද මෙයට ඇතුළත් වේ. මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගඟ කෝරළේ සහ රත්තොට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බඩල්කුඹුර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ගොඩකවෙල සහ රත්නපුර ප්‍රදේශ සඳහා ද මෙම අනතුරු ඇඟවීම් වලංගු වේ. පොළොවේ ඇතිවන ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම සහ හදිසියේ දිය උල්පත් මතු වීම වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීමට කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














