“ඩිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම නියෝග නිකුත් කරන ලදී.
දිස්ත්‍රික්කය තුළ නිවාස 12,169ක් අර්ධ වශයෙන් හානි වී ඇති අතර ඒවායේ වන්දි ගෙවීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු විමසා සිටියේය. සම්පූර්ණයෙන් නිවාස අහිමි වූවන් සඳහා මහනුවර දිස්ත්‍රික්කය තුළ තාවකාලික නිවාස 151ක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර ඉන් ඒකක 63ක් තෙල්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතය. මෙම සංක්‍රාන්ති නිවාස ඉදිකිරීමේ වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ඇති අතර එම කටයුතු මාසයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, නිවාස සම්පූර්ණයෙන් විනාශ වූ පවුල් සඳහා රුපියල් මිලියන 5ක උපරිමයකට යටත්ව වන්දි සහ ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. නායයෑමේ දැඩි අවදානම් කලාපවල සිටින පවුල් ඉවත් කර ඔවුන් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීමේ කටයුතු ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මගපෙන්වීම යටතේ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.














