තරුණියකට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පැහැර ගැනීමට තැත් කළ බව පැවසෙන පෙම්වතෙකු සහ ඔහුගේ මිතුරෙකු අද (12) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණියක සමඟ වසර තුනක පමණ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති මෙම සැකකරු, තමා යුද හමුදා සෙබළෙකු බව ඇයට පවසා තිබුණද එය ව්‍යාජ තොරතුරක් බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පාදුක්ක වටරැක සහ හබරකඩ ප්‍රදේශවල පදිංචි 30 හැවිරිදි සහ 25 හැවිරිදි පුද්ගලයන් වේ.
මෙම පුද්ගලයා විවාහක එක්දරු පියෙකු බවට පසුව අනාවරණය වී ඇති අතර, ඔහුගේ බිරිඳ විසින් එම තොරතුරු තරුණියගේ වැඩිහිටියන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් මෙම සම්බන්ධතාවයට විරෝධය පළ කර තිබේ. ඉකුත් 08 වැනිදා සැකකරු සිය මිතුරා සමඟ මෝටර් රථයකින් පැමිණ තරුණිය පැහැර ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඥාතීන්ගේ විරෝධය හමුවේ ඔවුන් පලා ගොස් ඇති බව මත්තේගොඩ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. පසුව සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ භාර වී ඇති අතර, ඔවුන් භාවිතා කළ මෝටර් රථය, ජංගම දුරකථන සහ සෙල්ලම් පිස්තෝලයක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් හෙට (13) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














