දිවයින පුරා විසිරී සිටින තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඒකරාශී කරමින් නව මාධ්‍ය ජාලයක් ගොඩනැඟීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබේ. මේ යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් තරුණයෙකු හෝ තරුණියක බැගින් තෝරා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. මෙම වැඩසටහන මගින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට වේදිකාවක් නිර්මාණය කිරීම සහ වෘත්තීය මට්ටමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් බිහි කිරීම අරමුණු කෙරේ.
තෝරාගන්නා තරුණ තරුණියන් සඳහා ලබාදෙන පුහුණුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 11 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී තීරණය වූයේ මෙම පුහුණුව පුවත්පත් කලාව, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ ඩිජිත් මාධ්‍ය යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුළුල් පරාසයකින් ලබාදීමටයි. මේ සඳහා ලැබී ඇති අයදුම්පත් 2500කට ආසන්න ප්‍රමාණයකින් සුදුස්සන් තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණ මගින් සිදු කෙරෙනු ඇත.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයත් එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.















