විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට පොරොන්දු දී බලයට පැමිණි මාලිමා රජය, මාසයක් ඇතුළත දෙවතාවක් විදුලි බිල ඉහළ නංවමින් ජනතාව සහ කර්මාන්තකරුවන් දැඩි පීඩනයකට පත් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මාසයක් ඇතුළත විදුලි බිල 43%කින් පමණ ඉහළ නංවා ඇති බවත්, මෑතකදී සිදු වූ මහා පරිමාණ ගල්අඟුරු වංචාව සහ අක්‍රමිකතාවල බර පාරිභෝගිකයන් මත පැටවීම රජය වහාම නතර කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මෙම වංචාවට සම්බන්ධ අයගෙන් අදාළ පාඩුව පෞද්ගලිකව අය කරගත යුතු බව පෙන්වා දුන් ඔහු, 2010 සිට ගල්අඟුරු ගෙන්වීම ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීම හරහා වත්මන් වංචාව අතීතයේ සඟවා දැමීමට රජය උත්සාහ කරන බවට ද චෝදනා කළේය.
පවතින විදුලි මිල ඉහළ යාම හමුවේ කර්මාන්තකරුවන්ට තම කටයුතු පවත්වාගෙන යාම ඉතා අපහසු වී ඇති බවත්, පොරොන්දු වූ පරිදි විදුලි සහනය ලබා දී ජනතාව ජීවත් කරවීමට කටයුතු කරන ලෙසත් ජයන්ත සමරවීර මහතා රජයෙන් ඉල්ලා සිටියේය.














