15 හැවිරිදි දැරියක අපයෝජනය කළ බවට එල්ල වී ඇති චෝදනා අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර, නෛතික ක්‍රියාපටිපාටියක පවතින ගැටලුවක් හේතුවෙන් සැකකාර හිමියන් සම්බන්ධයෙන් අලුතින් රක්ෂිත බන්ධනාගාර නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (12) ප්‍රතික්ෂේප කළේය.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මතු වූ කරුණු මෙන්න:
පල්ලේගම හේමරතන නාහිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා තමන්ට එරෙහිව එල්ල කර ඇති බරපතළ ලිංගික අපයෝජන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
දැනට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර හිමියන්, සෞඛ්‍ය හේතූන් මත අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව බන්ධනාගාර නිලධාරීහු ප්‍රකාශ කළහ. සැකකරු භෞතිකව අධිකරණයට ඉදිරිපත් කර නොමැති වීමත්, කොළඹ අධිකරණය නිකුත් කළ රිමාන්ඩ් නියෝගය නිල වශයෙන් ලැබී නොතිබීමත් හේතුවෙන් අලුතින් රිමාන්ඩ් නියෝගයක් නිකුත් කිරීමට නෛතික බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
සැකකාර හිමියන් දුර බැහැර ප්‍රවාහනය කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොමැති බවත්, වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය බවත් බන්ධනාගාර බලධාරීන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක සඳහන් විය. මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රගති වාර්තාවක් මැයි 15 වැනිදා ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව එදිනට කල් තැබීය.
පසුගිය මැයි 8 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුවක් මත සැකකාර හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගනු ලැබීය.














