විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් මහජන බදු මුදල් වැයකර ශිෂ්‍යත්ව ලබාදී පශ්චාත් උපාධි හැදෑරීම සදහා විදේශ විශ්වවිද්‍යාල වෙත යවනු ලබන්නේ නව දැනුම සහ පුහුණුව ලබාගෙන නැවත සිය රට පැමිණ රටේ දියුණුව සදහා දායකත්වය ලබාදෙතැයි යන සුභවාදී අපේක්‍ෂාවෙනි.එසේ විදේශගතවන ඇතැම් විද්‍යාර්ථීන් එම රටවල ගල් වන අතර ඇතැම්හූ මහජන මුදල් කාබාසිනියා කර හිස් අතින් නැවත පැමිණෙති.මෙවැනි කාබාසිනියාකරුවන්ගෙන් එම මුදල් නැවත අයකර ගත යුතු බවට රටේ දැඩි මහජන මතයක් පසුගිය කාලයේ මතුව ආ අතර විගණකාධිපති මෙන්ම රජයේද දැඩි ස්ථාවරය වූයේ එම නිෂ්කාර්ය වැය බැදුම්කර කඩකලවුන්ගෙන් නැවත අයකරගත යුතු වන බවටය.
එවැනි තත්ත්වයක් තුල කොළඹ විශ්වවිද්‍යාලය රුපියල් ලක්‍ෂ 65 ක මහජන මුදල් කාබාසිනියාකාරයෙකු සමග අපූරු ඩීල් එකක් දමා තිබෙන අයුරු දැන් හෙලිදරව් වී ඇත.
2007 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසට බැදුන එස් එල් ප‍්‍රියන්ත ෆොන්සේකා නැමැති අය 2011 වර්ෂයේදී ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිලිබද දර්ශනපති උපාධියක් හැදෑරීම සදහා ශිෂ්‍යත්වයක් ලබාගෙන යන අතර ඒ සදහා කොළඹ විශ්වවිද්‍යාලය සමග රුපියල් ලක්‍ෂ 65 ක පමණ බැදුම්කරයකට අත්සන් කර තිබුනි.
අදාල පශ්චාත් උපාධිය ඒ සදහා නියමිත වසර 8 ක කාලය තුල සම්පූර්ණ කර නැවත කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණීමට මෙම පුද්ගලයා අසමත්වීම හේතුවෙන් 2015 වසරේදී ඔහුගේ සේවය අවසන් කර අදාල බැදුම්කර මුදල අයකර ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය තීරණය කර ඇත.
මහජන මුදලින් වැයකර ඇති සහ නැවත රජයට අයවිය යුතු මෙම බැදුම්කර මුදල ගෙවීම පැහැර හරින මෙම පුද්ගලයා තමන් බැදුම්කර ආපසු අයකර ගැනීමකට නියමිත පුද්ගලයෙකු බව සගවමින් වංචා සහගත ලෙස 2018 වසරේදී නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස බැදී ඇත.එසේ බැදීමේදී තමන් බැදුම්කර වරදකට වරදකරුවී රුපියල් කෝටියකට ආසන්න එම මුදල අයකර ගැනීමට නියමිත පුද්ගලයෙකු බව හෙලිදරව් නොකළ බව ඔහුම ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ ලියා පලකර ඇත.
මෙම කරුණු හෙලිදරව් වීමෙන් පසුව එකී බැදුම්කර මුදල අයකර ගැනීම සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය පියවර ගනිමින් සිටියදී මෙම පුද්ගලයා විවිධ පුද්ගලයන් හරහා ඩීල් දමමින් එය යටපත් කර ගැනීමට උත්සාහ ගනිමින් සිට ඇත.
මෙම බැදුම්කර මුදල අයකර ගැනීම සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාව වසර ගණනාවක් පුරාවට දරණ ලද අනම්‍ය ස්ථාවරය වූයේ එකී බැදුම්කරයේ වටිනාකම අදාල පුද්ගලයාගෙන් නැවත කොළඹ විශ්වවිද්‍යාලයට අයකරගත යුතු බවය.
එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙකු පත්ව ආ සැණින් ඉහත ස්ථාවරය විශ්මයජනක ලෙස වෙනස්වන අතර අදාල බැදුම්කර වටිනාකම පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත මාරුකිරීමට හදිසි තීරණයක් ගනු ලබයි.
කොළඹ විශ්වවිද්‍යාලය මෙම පුද්ගලයාගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැයකර ඇත්තේ මහජනතාවගේ බදුමුදල්ය.එකී බදුමුදල් රටටට වැඩදායීලෙස භාවිතා කර ප‍්‍රථිලාභ ලබාදීමට අපොහොසත්ව ඇත්තේ නම් එම මුදල් නැවත මහා භාංඩාගාරය වෙත ලබාගත යුතුය.
එසේ නොමැතිව එම බැදුම්කරයේ වටිනාකම පේරාදෙණියට හෝ වෙනත් විශ්වවිද්‍යාලයකට මාරුකර ගනිමින් ඞීල් දමා අයුතු වාසි ලබා ගැනීමට කිසිම පුද්ගලයෙකුට ඉඩ දිය යුතු නැත.එවැනි ඞීල් සිල්ලර කඩ හෝ හවුල් ව්‍යාපාර” සහෝදර ව්‍යාපාර දේ සමග දැමිය හැකි වුවත් රජයේ මුදල් සහ ව්‍යවස්ථාපිත නීති සමග ඞීල් දැමිය නොහැකි බව අපි විශ්වාස කරමු.එබැවින් විගණකාධිපතිවරයා ඇතුළු නිසි බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් සිදුකර මෙම බැදුම්කර මුදල සහ ඊට අදාල නෛතික පොලිය නැවත රජයට අයකර ගැනීම සදහා නිසි පියවර ගැනීමට කටයුතු කල යුතුය.
මතු සම්බන්ධයි…
– විශේෂ වාර්තාකරුවෙකු විසිනි
















