තේ වතු සහ තේ කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට වැවිලි සහ ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව පියවර ගෙන තිබේ. සේවකයන්ට තම කායික ශක්තිය පවතින කාලයේදී ඉතිරි කරමින්, වැඩ කිරීමට නොහැකි වයසට පත්වූ පසු මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
වයස අවුරුදු 18 දී මෙම ක්‍රමයට එක්වන සේවකයෙකුට කාර්තුවකට රුපියල් 600 බැගින් දායක විය හැකි අතර, වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු රුපියල් 5,000 ක විශ්‍රාම වැටුපකට හිමිකම් කිව හැකිය. මීට අමතරව, තමන් දායක වන මුදල අනුව රුපියල් 15,000, 20,000 සහ 25,000 හෝ ඊට වැඩි මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට ද අවස්ථාව සලසා දී ඇත. ඕනෑම අවස්ථාවක දායක මුදල වැඩිකර ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමට සේවකයන්ට නම්‍යශීලී බවක් ලබා දී තිබේ.
මෙම වැඩසටහනට ජීවිත රක්ෂණාවරණයක් ද ඇතුළත් වේ. සේවකයෙකු හදිසි අනතුරකට ලක්ව පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් හෝ විශ්‍රාම යාමට පෙර මියගියහොත් ඒ සඳහා වන්දි ගෙවනු ලැබේ. යම් හෙයකින් විශ්‍රාම වැටුප් ලබමින් සිටියදී සේවකයා මියගියහොත්, එම ප්‍රතිලාභය ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයා වෙත ලබා දීමට ද කටයුතු යොදා ඇත.
තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රජය විසින් ගනු ලැබූ සුවිශේෂී පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ හැඳින්විය හැකිය.














