බාල ගල්අඟුරු ආනයනය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ තමන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සාක්ෂි ලබා දීමට නොපැමිණෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
අනුර කුමාර දිසානායක මහතා යටතේ පවතින ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් එස්.එම්. මරික්කාර්, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක සහ තමන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින්, අදාළ කොමිසම හමුවේ සාක්ෂි දෙන ලෙස ඉල්ලා තිබූ බව රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පැවසූ රණවක මහතා, ජනතාව විසින් තේරී පත් නොවූ හෝ මහජන නියෝජිතයෙකු නොවන ටිල්වින් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ පවතින කොමිසමකට තමන් ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළේය. එසේම අදාළ වංචාව සම්බන්ධයෙන් අවශ්‍ය සියලු ලේඛන දැනටමත් කොමිසම සතුව පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














