දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) අද (13) පෙරවරු 10.00 ට නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවට අනුව, මෙම මරණය වාර්තා වී ඇත්තේ කෝරළේපත්තු දකුණ ප්‍රදේශයෙනි.
රත්නපුර, ගාල්ල, මොනරාගල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක හතරේ පවුල් 62කට අයත් පුද්ගලයන් 203 දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිති. මෙයින් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 07කට අයත් පුද්ගලයන් 17 දෙනෙකු මේ වන විට ආරක්ෂිත තාවකාලික මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
දැඩි වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 39කට අර්ධ හානි සිදුව ඇති අතර, එක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථානයකට ද හානි සිදුව තිබේ. ඉදිරි පැය කිහිපය තුළ ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බැවින්, ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු දැනුම් දෙති.














