රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී, 2039 වසරේ කල් පිරෙන බැඳුම්කර සඳහා ඉදිරිපත් වූ සියලුම ලංසු ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත. මෙම බැඳුම්කරය මගින් රුපියල් බිලියන 50ක මුදලක් රැස් කිරීමට අපේක්ෂා කළද, ඒ සඳහා වූ ලංසු ප්‍රතික්ෂේප වී තිබේ. කෙසේ වෙතත්, 2030 සහ 2034 වසරවල කල් පිරෙන බැඳුම්කර සඳහා වූ ලංසු පූර්ණ වශයෙන් පිළිගෙන ඇති අතර, ඒ හරහා රුපියල් බිලියන 130ක මුදලක් රැස් කර ගෙන ඇත. එහිදී 2030 බැඳුම්කරය සඳහා 10.16%ක සහ 2034 බැඳුම්කරය සඳහා 11.24%ක බරිත සාමාන්‍ය ඵලදා අනුපාතයන් වාර්තා විය. 2036 වසරේ කල් පිරෙන බැඳුම්කර සඳහා රුපියල් බිලියන 70ක ලංසු කැඳවා තිබුණද, ඉන් පිළිගෙන ඇත්තේ රුපියල් බිලියන 24.5ක් පමණි. මෙම වෙන්දේසියේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළේ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන ඵලදා අනුපාතයන් පහළ යෑමක් දක්නට ලැබුණු අතර, එදින ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 322.03ක් ලෙස සටහන් විය.















