මුලින් 2026 වර්ෂයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ “ශ්‍රී ලංකා එක්ස්පෝ” ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය, 2027 ජනවාරි මස 14 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිවේදනය කරයි. ගෝලීය වෙළඳාමට සහ සංචාරක ක්ෂේත්‍රයට බලපා ඇති පවතින භූ-දේශපාලනික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.
දේශීය අපනයනකරුවන් 750ක් සහ ආයෝජකයින් ඇතුළු විදේශීය නියෝජිතයින් 1,500කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනය හරහා 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා ගමන් කිරීම අපේක්ෂා කෙරේ. මෙහිදී ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ වැනි කාර්මික අපනයන මෙන්ම තේ, කුළුබඩු සහ මත්ස්‍ය නිෂ්පාදන වැනි කෘෂිකාර්මික නිෂ්පාදන ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත. මීට අමතරව තොරතුරු තාක්ෂණ (ICT), නාවික සහ සුවසේවා වැනි අපනයන සේවා අංශය කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.














