ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹ ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී ඉදිරි වසර සඳහා නව නිලධාරී මණ්ඩලයක් සහ විධායක කමිටුවක් පත් කර ගනු ලැබීය. ඒ අනුව කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දික සල්ගාදු මහතා තේරී පත් වූ අතර රංජිත් ලක්ෂිරි සහ අර්ජුන යටවර යන මහත්වරුන් උප සභාපතිවරුන් ලෙස පත් කර ගන්නා ලදී. අජිත් ඩී. පෙරේරා මහතා ලේකම් ජනරාල්වරයා ලෙසත්, තිස්ස රුබේරු මහතා ගරු භාණ්ඩාගාරික ලෙසත් කටයුතු කරනු ඇත.
නව සභාපතිවරයා සිය දේශනයේදී සඳහන් කළේ රටේ පවතින තත්ත්වයන් හමුවේ කල් දැමීමට සිදු වූ කවුන්සිලයේ ප්‍රධාන වාර්ෂික වැඩසටහන් නැවත ආරම්භ කිරීම සිය මූලික අවධානයට යොමු වන බවයි. එසේම චීනයේ ප්‍රකට “කැන්ටන් ප්‍රදර්ශනය” (Canton Fair) සඳහා ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය වෙත විශේෂ “VIP” තත්ත්වයක් පිරිනමා ඇති බවද ඔහු මෙහිදී අනාවරණය කළේය. මෙම නව විධායක කමිටුව හරහා දෙරට අතර ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සාමාජිකයින් වෙත වැඩි වටිනාකමක් ලබා දීමටත් කවුන්සිලය අපේක්ෂා කරයි.














