දැඩි නීතිරීති මඟින් මාධ්‍ය පාලනය කිරීමට වඩා මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රිය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සාර්ථක ක්‍රමවේදය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන 21 වැනි ආසියානු මාධ්‍ය සමුළුවේ (AMS 2026) ඉහළ පෙළේ ඇමැති මණ්ඩල සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
ÒMaldives 2.0: From Tradition to TechÓ යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේදී ඇමැතිවරයා පෙන්වා දුන්නේ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය දෙස බියෙන් බැලිය යුතු නොවන බවයි. ඒ වෙනුවට මානව හිමිකම් සහ නීතිමය රාමුවලට ගරු කරමින් එම තාක්ෂණය වගකීම් සහගතව වැලඳගැනීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කළ ඇමැතිවරයා එම ප්‍රතිපත්තිය ප්‍රධාන කුලුනු තුනක් මත පදනම් වන බව පැවසීය. මාධ්‍ය නිදහස තහවුරු කිරීම, ඩිජිටල් යුගය තුළ පුද්ගල පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම මෙන්ම මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම හරහා වෘත්තීයවේදීත්වය ශක්තිමත් කිරීම එම කරුණු තුනයි.
බංග්ලාදේශය, ටිමෝර් ලෙස්තේ සහ මාලදිවයින යන රටවල අමාත්‍යවරුන් ද මෙහිදී අදහස් දැක්වූ අතර බිම්ස්ටෙක් සහ සාර්ක් සංවිධානවල මහලේකම්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. මාලදිවයිනේ විලා නෝටිකාහි පසුගිය 11 වැනිදා ආරම්භ වූ මෙම 21 වන ආසියානු මාධ්‍ය සමුළුව අද (14) දක්වා පැවැත්වේ.














