පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අද (14) පස්වරු 7.30 වන විට ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට මුදාහැරේ.
ඉඟිනිමිටිය ජලාශයේ ද පස්වරු 7.00 වන විට වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 5,000ක ජල ප්‍රමාණයක් මී ඔයට නිකුත් කෙරෙමින් පවතී. මීට අමතරව තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 8ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,400ක ජල ප්‍රමාණයක් මී ඔයට මුදාහරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ හේතුවෙන් මී ඔය ආශ්‍රිත පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව ජල මට්ටම ඉහළ යාම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
එසේම නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට පටන් ගෙන ඇති අතර, ඒ හේතුවෙන් කෙසෙල්ගමුඔයේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.














