ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරක ලක්මිණ රණසිංහට පහරදීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද (මැයි 14) දෙවන දිනටත් කැඳවනු ලැබුවා. එහිදී මෙම ආරවුල සමථ මණ්ඩලයට යොමු කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය නියම කළ අතර, සමථ මණ්ඩලයේ තීරණය සලකා බැලීම සඳහා ඉදිරි දිනයක් ලබාදෙනු ලැබුවා.
හේමාල් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙය මිතුරන් අතර සිදුවූ සුළු ආරවුලක් බැවින් සමථ මණ්ඩලයට යොමු කරන ලෙසයි. කෙසේ වෙතත්, ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ අජිත් පතිරණ මහතා එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ මෙය ක්ෂේත්‍රයේ පිරිස ඉදිරිපිට ප්‍රසිද්ධියේ සිදුකළ පහරදීමක් බවයි. විත්තිකරු මීට පෙරද ලක්මිණ රණසිංහට පහර දී ඇති බවත්, මෙවර පහරදීම සිදුකර ඇත්තේ විත්තිකරු පිළිබඳව විචාර නොලිවීම හේතුවෙන් බවත් පැමිණිල්ල පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් වුණා.
පහරදීම සටහන්ව ඇති CCTV දර්ශන ඇතුළත් CD පට ඉදිරි නඩු විභාගයේදී සාක්ෂි ලෙස භාවිත කරන බවට වැල්ලවත්ත පොලිසිය විසින් මෙහිදී චූදිතගේ නීතීඥවරයා වෙත දැනුම් දුන්නා. මෙම පහරදීම 2026 ජනවාරි 8 වන දින “ෆාදර්” චිත්‍රපටයේ මංගල දර්ශනය අතරතුර සිදුවී ඇති අතර, නඩුව නැවත කැඳවීම 2026 සැප්තැම්බර් 10 වන දිනට නියමිතයි.
















