අනාගත ලෝකයට ගැළපෙන ‘සුහුරු පුරවැසියන්’ (Smart Citizens) බිහි කිරීම රජයේ මූලික ඉලක්කය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය 12 වනදා වාලහේන ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ 2026 – I කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී කරුණු කිහිපයක් අවධාරණය කළේය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 9 වසර අවසානයේදී පවත්වන ජාතික විභාගයෙන් පසුව, සිසුන්ට තමන් කැමති පරිදි ශාස්ත්‍රීය හෝ වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. වෘත්තීය නිපුණතාවයෙන් පිරිපුන් ශිල්පීන් බිහි කිරීම සඳහා රට පුරා තාක්ෂණික විද්‍යාල 50ක් අලුතින් ඇති කිරීමට හෝ පවතින ඒවා වැඩිදියුණු කිරීමට රජය ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
සමාජයේ කතාබහට ලක්වන ‘ක්‍රමවේදයේ වෙනස’ (System Change) පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, එම වෙනස ආරම්භ විය යුත්තේ පුරවැසියාගේ මනසින් සහ භාවිතයෙන් බවයි. පුරවැසියා අභ්‍යන්තරයෙන් ශක්තිමත් වී වගකීම් සහගතව කටයුතු කරන්නේ නම් ඕනෑම පාලනයක් යටතේ රට යහපත් මාවතකට ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව, පාසල් දරුවන් අතර ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට රජය සියයට 90ක් පමණ සාර්ථක වී ඇති බවත්, එය මුලිනුපුටා දැමීමට තරුණ පරපුරේ දැඩි ස්ථාවරය අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය. බෝ නොවන රෝගවලින් තොර නිරෝගී සමාජයක් බිහි කිරීම සඳහා තරුණ පරපුර කලා කුසලතා සහ ක්‍රීඩාවන්හි නිරත වීමේ වැදගත්කම පෙන්වා දෙමින් අමාත්‍යවරයා සිය දේශනය අවසන් කළේය.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දෙමාපියන් රැසක් සහභාගී වී සිටියහ.
















