අනාගත ලෝකයට ගැළපෙන ‘සුහුරු පුරවැසියන්’ (Smart Citizens) බිහි කිරීම රජයේ මූලික ඉලක්කය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය 12 වනදා වාලහේන ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ 2026 – I කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි. වෘත්තීය නිපුණතාවෙන් පිරිපුන් ශිල්පීන් සමාජගත කිරීම සඳහා රට පුරා තාක්ෂණික විද්‍යාල 50ක් අලුතින් ඇති කිරීමට හෝ පවතින ඒවා වැඩිදියුණු කිරීමට රජය ප්‍රතිපාදන වෙන් කර ඇති බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
නව රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 9 වසර අවසානයේ පවත්වන ජාතික විභාගයෙන් පසුව සිසුන්ට තමන් කැමති පරිදි ශාස්ත්‍රීය හෝ වෘත්තීය අධ්‍යාපන මාවත තෝරා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. සමාජයේ කතාබහට ලක්වන ‘ක්‍රමවේදයේ වෙනස’ (System Change) පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පුද්ගලයන් බේරේ වැවට වැටුණු පමණින් ක්‍රමය වෙනස් නොවන බවත්, එම වෙනස පුරවැසියාගේ මනසින් සහ භාවිතයෙන් ආරම්භ විය යුතු බවත්ය.
පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට රජය සියයට 90ක් පමණ සාර්ථක වී ඇති බවත්, එය මුලිනුපුටා දැමීමට නම් තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා “නැත” යන ස්ථාවරයේ සිටිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. බෝ නොවන රෝගවලින් තොර නිරෝගී සමාජයක් බිහිකිරීම සඳහා තරුණ ප්‍රජාව කලා කුසලතා සහ ක්‍රීඩාවල නිරත වීමේ වැදගත්කම පෙන්වා දෙමින් අමාත්‍යවරයා සිය දේශනය අවසන් කළේය.














