දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇති බව අද (14) පෙරවරු 6.00 ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු මෙතෙක් බලපෑමට ලක්ව ඇති අතර, පුද්ගලයින් 104 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් නිවාස 88කට අර්ධ හානි සිදුව ඇති බව ද වාර්තා වේ. ආපදා තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බැවින් හදිසි අවශ්‍යතාවකදී සහන සේවා සැපයීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ද සූදානම් කර ඇති බව රජය දැනුම් දෙයි. අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කරයි.














