ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා ඒකමතිකව යළි තේරී පත්වී තිබේ. මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන FITIS හි මෙහෙයවීම් කටයුතු ඔහු විසින් දෙවන වරටත් භාරගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ දැඩි අභිලාෂය පෙරදැරි කරගෙනය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, 2030 ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අතර පවතින ශක්තිමත් සහයෝගීතාවය තවදුරටත් තහවුරු කෙරිණි.
යළිත් වරක් සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව සභාව ඇමතූ වෛද්‍ය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ඉදිරි වසර තුළ ධාරිතා වර්ධනය, යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් විශ්වාසය ගොඩනැගීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි. දේශීය තාක්ෂණික ව්‍යවසායන් බලගැන්වීමටත්, ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ දිවයිනේ සෑම අස්සක් මුල්ලකටම ගෙන යාමටත් තම අධ්‍යක්ෂ මණ්ඩලය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා සමඟ චන්න ද සිල්වා (ජ්‍යෙෂ්ඨ උප සභාපති), තාරික් සනූන් (උප සභාපති) ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් නව නිලධාරී මණ්ඩලයට තේරී පත්වී සිටිති.














