කියුබාවේ හිටපු ජනාධිපති 94 හැවිරිදි රාහුල් කැස්ත්‍රෝ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තා වේ. අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මෙම තොරතුරු වාර්තා කර ඇත.
මෙම විභව අධිචෝදනාව ප්‍රධාන වශයෙන්ම 1996 වසරේදී “Brothers to the Rescue” නම් මානුෂීය සංවිධානයට අයත් ගුවන් යානා කියුබාව විසින් වෙඩි තබා බිම හෙළීමේ සිද්ධිය පදනම් කරගනිමින් ගොනු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ෆ්ලොරිඩා දකුණු දිස්ත්‍රික්කය සඳහා වන අමෙරිකානු නීතිඥ කාර්යාලය විසින් ජ්‍යෙෂ්ඨ කියුබානු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව එල්ල විය හැකි සාපරාධී චෝදනා පිළිබඳ විමර්ශන මෙහෙයවනු ලබයි. මෙම අධිචෝදනා ගොනු කිරීම සඳහා ජූරි සභාවක අනුමැතිය අවශ්‍ය වන අතර එය ඉතා ඉක්මනින් සිදුවනු ඇතැයි අදාළ නිලධාරියා සඳහන් කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරිපාලනය විසින් කියුබාවට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පනවා ඇති පසුබිමක මෙම නවතම පියවර ගෙන ඇත. මේ අතර කියුබානු රජය සහ මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සියේ (CIA) ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ් මහතා අතර ද හමුවක් පවත්වා ඇති බව තහවුරු වී තිබේ. කියුබාව සිය පාලන ක්‍රමයේ මූලික වෙනස්කම් සිදු කරන්නේ නම් ආර්ථික ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමෙරිකාව සූදානම් බව රැට්ක්ලිෆ් මහතා එහිදී දන්වා ඇත.














