පසුගිය 10 වැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහ තද සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 141ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙම ආපදා තත්ත්වය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ එක් නිවසක් පූර්ණ හානියට ලක්ව ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48ක පවුල් 1,263කට අයත් පුද්ගලයින් 4,099ක් මේ වන විට පීඩාවට පත්ව සිටිති.
හානියට පත් නිවාස අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 78කි. මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් නිවාස 25ක්, රත්නපුරයෙන් 12ක් සහ ගාල්ලෙන් නිවාස 6ක් ඇතුළුව කොළඹ, මොනරාගල, යාපනය, ගම්පහ, හම්බන්තොට සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් ද නිවාස හානි වාර්තා වී තිබේ. විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.














