නොරොච්චෝලෙ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු රැගෙන විත් බලාගාරය ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති නැව් දෙකක ගොඩබෑම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රජයට දිනකට රුපියල් ලක්ෂ 50 බැගින් අතිරේක මුදලක් ගෙවීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි. වාරික වශයෙන් ගෙවිය යුතු මුදල් නිසි පරිදි නොගෙවීම නිසා මෙම නැව් දෙකෙහි ගල් අඟුරු ගොඩබෑම අත්හිටුවා ඇති බවත්, මේ නිසා විශාල මහජන මුදලක් අපතේ යන බවත් ඔහු පෙන්වා දෙයි.
වඩාත් බරපතල තත්ත්වය වන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මුහුද රළු වීම හමුවේ මෙම නැව්වල පවතින රුපියල් කෝටි 27ක් පමණ වටිනා ගල් අඟුරු මුහුදට වැටීමේ දැඩි අවදානමක් මතුව තිබීමයි. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය රටේ බලශක්ති පද්ධතියට මෙන්ම සාගර පරිසර පද්ධතියට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව මන්ත්‍රීවරයා අනතුරු අඟවයි. බලධාරීන්ගේ නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් ලංකාව මෙවැනි දැවැන්ත ආර්ථික හා පාරිසරික අර්බුදයකට මුහුණ දී සිටින බව චානක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














