නුවරඑළිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන මීපිලිමාන නගරයේ සිට දිමුතුගම දක්වා දිවෙන මාර්ගය වසර 10ක පමණ කාලයක සිට ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. කිලෝමීටර් 6ක් පමණ දිගැති මෙම මාර්ගයේ කිලෝමීටර් 2ක පමණ කොටසක් අතිශය අබලන් තත්ත්වයේ පැවතීම මෙම පීඩාවට ප්‍රධාන හේතුව වී තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් අර්තාපල් සහ ස්ට්‍රෝබරි ගොවිපළවල් පිහිටා ඇති මෙම ගම්මානයේ පවුල් 35ක් පමණ එළවළු වගාව සිය ජීවනෝපාය කරගෙන සිටින අතර, මාර්ගයේ අබලන් තත්ත්වය නිසා වාහන ගම්මානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත. මේ හේතුවෙන් සිය අස්වැන්න නගරයට ප්‍රවාහනය කිරීමට ත්‍රිරෝද රථ සඳහා විශාල මුදලක් ගෙවීමට ගොවීන්ට සිදුව තිබේ. මීට අමතරව ගම්මානයට කිසිදු පොදු ප්‍රවාහන සේවාවක් නොමැති වීමෙන් දෛනික අවශ්‍යතා සපුරා ගැනීම ද අසීරු වී ඇත.
දිමුතුගම පන්සල සහ ආරාමය වෙත පැමිණෙන බැතිමතුන් ද මෙම තත්ත්වය නිසා පීඩාවට පත්වන බව පවසන ප්‍රදේශවාසීන් අවධාරණය කරන්නේ, මැතිවරණ සමයේදී මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන බවට දේශපාලනඥයන් පොරොන්දු වුවද ඒවා මෙතෙක් ඉටු වී නොමැති බවයි. පවතින දුෂ්කරතා සැලකිල්ලට ගෙන අදාළ කිලෝමීටර් 2ක කොටස කඩිනමින් කාපට් අතුරා සකස් කර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














