ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 45ක සටන් විරාමයකට එකඟ වී ඇති පසුබිමක, ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් නුවර ඉලක්ක කර එල්ල කරන ලද දරුණු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ බේරූට් හි පිහිටි මුරපොලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මියගිය පිරිස අතර වෛද්‍යවරුන් තිදෙනෙකු ද සිටින බවයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වොෂින්ටන්හිදී පැවැත්වූ දින දෙකක සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර පවතින අස්ථාවර සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟතාව පළ කර තිබියදී මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි. මෙම සිදුවීමත් සමඟ කලාපීය සාමය සම්බන්ධයෙන් නැවතත් දැඩි අවදානම් සහගත තත්ත්වයක් මතු වී ඇති අතර සටන් විරාම එකඟතාවන් උල්ලංඝනය වීම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව පවතී.














