රාජ්‍ය සේවයේ පවතින බරපතළ වැටුප් විෂමතා සහ දීර්ඝ කාලීන ගැටලු නිරාකරණය කිරීමේ අරමුණින් යුත් නව වැටුප් කොමිෂන් සභාව ලබන සතියේදී ස්ථාපනය කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා නිවේදනය කර සිටියි. කොමිසමේ සාමාජික ධුර සඳහා සුදුසු පුද්ගලයන්ගේ නාමයෝජනා මේ වන විටත් ලැබී ඇති අතර කාලයක් තිස්සේ නොවිසඳී පවතින රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැටලු මෙන්ම විශ්‍රාමිකයන්ගේ වැටුප් සම්බන්ධ ගැටලු සඳහා සාධාරණ විසඳුම් සෙවීමට මෙම කොමිෂන් සභාව සෘජුවම මැදිහත් වනු ඇත. වැටුප් ගැටලු පවතින අදාළ ආයතනවල බලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවා ඒ සම්බන්ධයෙන් විධිමත් කරුණු විමසීම් කිරීමට ද මෙම කොමිසමට බලය පැවරෙන අතර මෙය ජනාධිපතිවරයා විසින් පසුගිය අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාවක් යථාර්ථයක් බවට පත් කිරීමකි.














