තඹුත්තේගම ගබඩාවකින් රඹෑව ගොවිජන මධ්‍යස්ථානයට ලබාදී ඇති, 2019 වසරේ නිෂ්පාදිත බවට සැකකෙරෙන MOP පොහොර තොගයක සාම්පල කඩිනම් පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එම කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, අදාළ පොහොර භාවිතයට සුදුසුද යන්න පිළිබඳ අවසන් නිගමනයකට එළඹිය හැක්කේ රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව පමණක් බවයි.
අනුරාධපුර පණ්ඩුකාභයපුර ගොවීන් පෙන්වා දෙන්නේ රඹෑව ගොවිජන සේවා බලප්‍රදේශයට ලබාදී ඇති මෙම පොහොර තොගය කල් ඉකුත් වූ සහ ප්‍රමිතියෙන් තොර ඒවා බවයි. කෙසේ වෙතත්, අදාළ පොහොර සමාගම ප්‍රකාශ කර ඇත්තේ මේවා 2022 වසරේ කැනඩාවෙන් ආනයනය කරන ලද, මීට පෙර අනුමැතිය හිමිවූ පොහොර තොගයක් බවයි. පවතින පරස්පර තත්ත්වය හමුවේ අනුරාධපුර පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හරහා ලබාගත් සාම්පල කොළඹට යොමුකර ඇති අතර, ඉතා කෙටි කාලයක් තුළ මෙහි ප්‍රමිතිය පිළිබඳ වාර්තාවක් ලබාදීමට නියමිතය.














