කුරිරු ම්ලේච්ඡ යුද්ධයේ බිහිසුණු බව සෘජුවම අත්විඳි, සටන් බිමේදී එක් පාදයක් අහිමි වූ හිටපු එල්.ටී.ටී.ඊ (LTTE) සාමාජිකයෙකු විසින් තම අතීතය සහ වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳව කරන ලද සංවේදී පාපොච්චාරණය මෙලෙස අනාවරණය වේ. ආරක්ෂක හේතූන් මත නම හෙළි නොකළ මෙම සාමාජිකයා මුලතිව්, මුල්ලියාවේලී ප්‍රදේශයේ හැදී වැඩුණු අයෙකි. කුඩා කල සිටම මරණ බියෙන් පසුවීමට සිදු වූ නිසා ප්‍රදේශයේ කිසිදු දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයට පවා පෙනී සිටීමට ලැබී නැත. පවුල බේරාගැනීම උදෙසා කර්නල් තීපන් යටතේ පැවති උතුරු බළකායට ඇතුළත් වූ ඔහු, 2008 වසරේදී මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේදී තුවාල ලබා තිබේ. එහිදී රෝහල් ගතව සිටියදී වයස අවුරුදු 15ක කුඩා දරුවෙකු බලහත්කාරයෙන් පැහැරගෙන විත් යුද පෙරමුණට දමා කකුල් දෙකම අහිමිව සිටිනු දැකීමෙන් තමන්ට යුද්ධය තිත්ත වූ බව ඔහු පවසයි.
යුද්ධයේ අවසාන දිනවල පුදුමාතලන් සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශවලදී සිවිල් වැසියන් විශාල වශයෙන් කොටු වූ අතර, එහිදී එල්.ටී.ටී.ඊ නායකයන් විසින් අසරණ ජනතාව “මිනිස් පළිහක්” ලෙස භාවිත කර ඇත. මිනිසුන්ට බොන්නට වතුර පවා නොතිබූ අතර, හාමතේ වැටී සිටි ගැබිනි මව්වරුන් සහ කුඩා දරුවන් පණ රැකගෙන ඇත්තේ මඩ වතුර බොමිනි. බඩගින්න දරාගත නොහැකිව මිනිස්සු රජයේ හමුදා පාලන ප්‍රදේශවලට පැන යාමට උත්සාහ කිරීමේදී, “මුන්ට යන්න දෙන්න එපා, යන උන්ට වෙඩි තියපල්ලා” යනුවෙන් නායකයන් නියෝග කර තිබේ. ඒ අනුව, හමුදාව වෙත යන්නට තැත් කළ වැසියන්ට සහ ඊට උදව් කළ එල්.ටී.ටී.ඊ පොලිසියේ සාමාජිකයන්ට බුද්ධි අංශ නායකයෙකුව සිටි “ආදවන්” ඇතුළු නායකයන් විසින් පොදුවේ වෙඩි තබා ඝාතනය කරන අයුරු තමන් ඇස් පෙනපිට දුටු බව ඔහු සාක්ෂි දරයි.














