ඉපැරණි තැපැල් කාර්යාල පාරිභෝගිකයින් ආකර්ෂණය වන අයුරින් ඇසට ප්‍රියමනාප ස්ථාන බවට පත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ වසර 150ක් පැරණි බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කර ඊයේ (16) ජනතා අයිතියට පත් කර තිබේ. දිවයින පුරා පිහිටි මෙවැනි තැපැල් කාර්යාල 200ක් නවීකරණය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන ලබා දී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙලෙස නවීකරණය කෙරෙන සෑම තැපැල් කාර්යාලයකටම නිශ්චිත ආදායම් ඉලක්ක ලබා දී ඇති අතර, සේවකයින් එම ඉලක්ක සපුරා ගැනීම තුළින් ප්‍රතිසංස්කරණ සඳහා වැය කළ ප්‍රතිපාදන නැවත උපයා ගැනීමට බලාපොරොත්තු වන බව තැපැල්පතිවරයා පැවසීය. එමෙන්ම කාර්යාලය තුළ සිදුවන සේවාවන් පිටත සිටින පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි වීදුරු කවුළු හරහා වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද හෙතෙම සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය. බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය විවෘත කිරීමේ මෙම අවස්ථාවට නියෝජ්‍ය තැපැල්පති තුසිත රුලංගමුව මහතා ඇතුළු නිලධාරීන් සහ ආරාධිතයින් රැසක් සහභාගි වී සිටියහ.














