ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අද (17) පස්වරුවේ දරුණු අනතුරක් සිදුව තිබේ. පස්වරු 2.00 ට පමණ දුංහේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් රියදුරු සහ ඔහුගේ අට හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
අනතුරට පත් කැබ් රථය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් එකක් බව අනාවරණය වී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී පිටිගල දෙසින් පැමිණි ත්‍රිරෝද රථය කැබ් රථයේ ගැටී මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් නතර වී ඇති බව වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














