යටත් විජිත සමයේදී ශ්‍රී ලංකාවෙන් බැහැර කරන ලද සංස්කෘතික කලාකෘති හුදෙක් කෞතුකාගාරවල ප්‍රදර්ශනය කෙරෙන භාණ්ඩ ලෙස පමණක් නොසැලකිය යුතු බවත්, ඒවා ජාතියක අනන්‍යතාවය සහ ඓතිහාසික මතකය විදහා දක්වන ජීවමාන උරුමයන් බවත් වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා අවධාරණය කරයි. පසුගිය මැයි 13 වනදා කොළඹදී පැවැත්වූ “Whose Law?” පර්යේෂණ සමුළුවේ සමාරම්භක සැසිය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නීති විශාරදයින්, ඉතිහාසඥයින් සහ ජාත්‍යන්තර පර්යේෂකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම කලාකෘති නැවත ලබාගැනීමේ ක්‍රියාවලිය ගැටුම්කාරී ප්‍රවේශයකින් තොරව, සාක්ෂි මත පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රික මාවතක් ඔස්සේ සිදුකළ යුතු බවයි. මෙය නීතිය, යුක්තිය සහ ඉතිහාසය එකිනෙක මුණගැසෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස ඔහු හැඳින්වීය. ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල පවතින ශිෂ්ටාචාරමය උරුමයන් සිහිපත් කරමින් ඔහු කියා සිටියේ උරුමය යනු කෞතුකාගාරයකට පමණක් සීමා වූවක් නොව අපේ භූමිය, මතකයන් සහ ජනප්‍රවාද තුළ පවතින දෙයක් බවයි.
මෙම උරුමයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා විධිමත් පර්යේෂණ, නීතිමය පැහැදිලිතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සුරැකීමට සහ ඒවායේ අයිතිය තහවුරු කිරීමට මතකය ප්‍රතිපත්තියක් බවටත්, පර්යේෂණ ක්‍රියාමාර්ග බවටත් පරිවර්තනය කළ යුතු බව පවසමින් හේමචන්ද්‍ර මහතා සිය දේශනය අවසන් කළේය.














