රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේදී ත්‍රිරෝද රථයක් නවතා එහි රියදුරු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 15 වනදා සිදුවූ මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් මොරටුව, අඟුලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකාර නිලධාරීන් දෙදෙනා කොටු කර ගැනීමට හැකි වී ඇත.
මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ කොල්ලකෑමට ලක්වූ බව කියන මුදල් පිළිබඳව පැමිණිලිකරු විසින් ලබාදුන් තොරතුරු අසත්‍ය බවට විමර්ශනවලදී අනාවරණය වීමයි. පැමිණිලිකාර රියදුරු එම මුදල් ‘සිට්ටු මුදල්’ බවට ප්‍රකාශ කළද, පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එය අසත්‍ය බව හෙළිවීම නිසා පැමිණිලිකාර පුද්ගලයා සහ 55 හැවිරිදි තවත් කාන්තාවක ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාව මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු බව වාර්තා වේ. සැකකාර කොස්තාපල්වරුන් සහ අනෙකුත් පිරිස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














