යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැල්ලවත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2026 මැයි 16 වන දින මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ යුද්ධ හමුදා බුද්ධි අංශය එක්ව මෙම ඒකාබද්ධ වැටලීම සිදුකර ඇති අතර එහිදී මෙරට නීතියට පටහැනිව අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුම්වැටි 22,400ක් සොයාගැනීමට හැකි විය.
අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 2,016,000.00ක් පමණ වන බව ගණනය කර ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන දුම්වැටි ජාවාරම මැඩලීම සඳහා ආරක්ෂක අංශ අඛණ්ඩව මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව බලධාරීන් පවසයි.















