ආහාර හොඳින් හැපීම අපගේ සමස්ත ශරීර සෞඛ්‍යයට සහ මොළයේ ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපාන බව නවතම විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් විදෙස් මාර්‍ග වාර්තා පෙන්වා දෙයි. මෙමඟින් ශරීරයට ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ හතරක් විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත.
පළමුවැන්න නම් ආහාර ජීරණය පහසු කිරීමයි. ආහාර හොඳින් හපන විට කෙළ ශ්‍රාවය වීම වැඩි වන අතර, එමඟින් ආහාර දිරවීමට අවශ්‍ය එන්සයිම හොඳින් මුසුවෙයි. ආහාර කුඩා කැබලිවලට කැඩී ආමාශයට යාම නිසා බඩ පිපුම, මලබද්ධය සහ බඩේ අපහසුතා මඟහැරී යයි. දෙවැන්න බර අඩු කර ගැනීමට උපකාරී වීමයි. ආහාරයක් 40 වතාවක් පමණ හපන විට බඩ පිරුණු බව දැනෙන හෝමෝන ක්‍රියාත්මක වන අතර, එමඟින් අනවශ්‍ය ලෙස ආහාර ගැනීම පාලනය වී කුසගින්න මර්දනය වෙයි. දියර ජාතිවලට වඩා ඝන ආහාර හැපීමෙන් ශරීරයට දැනෙන තෘප්තිය ඉහළ අගයක් ගනී.
තෙවැනි ප්‍රතිලාභය වන්නේ මොළයේ සෞඛ්‍යය සහ මතක ශක්තිය වර්ධනය වීමයි. ආහාර හොඳින් හපන විට මොළයට සිදුවන රුධිර ගමනාගමනය (Blood flow) වේගවත් වෙයි. දත් සෞඛ්‍යය දුර්වල වීම සහ දත් වැටීම, ඇල්සයිමර් (Alzheimer’s) සහ ඩිමෙන්ෂියා (Dementia) වැනි අමතකවීමේ රෝග වැළඳීමේ අවදානම ඉහළ නංවන බව ද පර්යේෂණවලින් හෙළි වී තිබේ. සිව්වැන්න මානසික ආතතිය අඩු කිරීමයි. යම් ආහාරයක් හෝ චුවින්ගම් හැපීම මඟින් මානසික ආතතිය, බිය සහ කනස්සල්ල අඩු වන බව පරීක්ෂණ මඟින් සනාථ වී ඇත. එමෙන්ම එය පුද්ගලයෙකුගේ අවධානය සහ මොළයේ අවදිභාවය 10%කින් පමණ ඉහළ නැංවීමට සමත් වෙයි.














