ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් ළමා විවාහ, දික්කසාද සහ පවුල් සබඳතා සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව ආන්දෝලනාත්මක නීති මාලාවක් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව නීතිය මඟින් දැරියන්ගේ සහ කාන්තාවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වන බවට ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
නව නීතියට අනුව, වැඩිවියට පත් වූ කන්‍යා දැරියකගෙන් විවාහය පිළිබඳව විමසීමේදී ඇය නිහඬව සිටියහොත්, එම නිහඬතාවය ඇගේ “පූර්ණ කැමැත්ත” ලෙස සලකා විවාහය සිදු කිරීමට නීතිමය අවසරය ලැබේ. කෙසේ වෙතත්, පිරිමි ළමයෙකු හෝ කලින් විවාහ වූ කාන්තාවක එවැනි අවස්ථාවක නිහඬව සිටියහොත් එය කැමැත්තක් ලෙස පිළි නොගැනීම විශේෂත්වයකි. මීට අමතරව, පියෙකුට හෝ සීයා කෙනෙකුට තම පවුලේ බාලවයස්කාර දරුවන්ව (ළමා විවාහ) වෙනත් පාර්ශවයන් වෙත විවාහ කර දීම සඳහා අසීමිත බලයක් මෙමඟින් පවරා දී ඇත. ළමා කාලයේදී බලහත්කාරයෙන් සිදුකළ මෙවැනි විවාහයක්, ඔවුන් ලොකු මහත් වූ පසු අවලංගු කිරීමට ඉල්ලා සිටීමේ අයිතියක් පැවතිය ද, ඒ සඳහා තලේබාන් උසාවියක අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන දේශපාලන හා මානව හිමිකම් විචාරකයන් පෙන්වා දෙන්නේ බාලවයස්කාර දරුවෙකුට විවාහයක් වැනි බරපතළ තීරණයකට නිසි කැමැත්තක් දීමට පරිණතභාවයක් නොමැති බවයි. එවැනි පසුබිමක බිය සහ පීඩනය නිසා ඇතිවන නිහඬතාවය ‘කැමැත්ත’ ලෙස අර්ථකථනය කිරීමෙන් ඇෆ්ගන් දැරියන්ගේ අයිතිවාසිකම් සහ ජීවිත සම්පූර්ණයෙන්ම අඳුරට වැටෙන බව ඔවුහු අවධාරණය කරති.














