ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ (Women Parliamentarians’ Caucus) නියෝජිත පිරිසක් ඉන්දියාවේ සතියක නිල සංචාරයක නිරත වී සිටිති. මෙම සංචාරය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද විශේෂ ආරාධනයකට අනුවය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා දිගුකාලීන පාර්ලිමේන්තු, සංස්කෘතික සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. එහිදී කාන්තා සවිබල ගැන්වීම, පාර්ලිමේන්තු කටයුතු, සමාජ සංවර්ධනය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී පාලනයට ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදුවේ.
මෙම නිල සංචාරය අතරතුර මන්ත්‍රීවරියන් පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ඇති අතර, ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා සහ ඉන්දීය කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය අන්නපූර්ණා දේවී යන මහත්ම මහත්මීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. මීට අමතරව, දිල්ලි පොලිස් කොමසාරිස්වරයා ද හමුවී කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි අපරාධ වැළැක්වීමේ උපාය මාර්ග පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කර ඇත.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම දූත පිරිසට රෝහිණී කුමාරි විජේරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ ඒ.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හසාර ලියනගේ, අම්බිකා සාමිවෙල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ නීතිඥ ගීතා හේරත් යන මහත්මීහු ඇතුළත් වෙති.














