එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් අබුඩාබිහි පිහිටි ‘බරකාහ්’ (Barakah) න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ගනිමින් අද (17) ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. ප්‍රහාරය හේතුවෙන් බලාගාර පරිශ්‍රය අසල ගින්නක් හටගෙන ඇති අතර, ඉන් කිසිදු විකිරණ අවදානමක් හෝ ජීවිත හානියක් සිදුව නොමැති බව එරට බලධාරීන් තහවුරු කර තිබේ.
අබුඩාබි මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, අල් දෆ්රා (Al Dhafra) කලාපයේ පිහිටි මෙම බලාගාරයේ අභ්‍යන්තර ආරක්ෂිත සීමාවෙන් පිටත පිහිටි විදුලි ජනක යන්ත්‍රයක (Generator) මෙම ගින්න හටගෙන ඇති බවයි. වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර, සියලුම පූර්වාරක්ෂක උපක්‍රම මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. ෆෙඩරල් න්‍යෂ්ටික නියාමන අධිකාරිය (FANR) ප්‍රකාශ කරන්නේ මෙමඟින් බලාගාරයේ අත්‍යවශ්‍ය පද්ධතිවල ක්‍රියාකාරීත්වයට හෝ ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත්, එහි සියලුම ඒකක සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්ය.
අබුඩාබි අගනුවර සිට කිලෝමීටර් 200ක් බටහිරින් පිහිටි මෙම බලාගාරය මඟින් එමීර් රාජ්‍යයේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 25%ක් සපුරාලනු ලබයි. මෙම ඩ්‍රෝන යානය කුමන පාර්ශවයකින් දියත් කළේ ද යන්න නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, මෑතකදී එල්ල වූ ප්‍රහාර පිටුපස ඉරානය සිටින බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය චෝදනා කරයි. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු මැදපෙරදිග කලාපය පුරා උග්‍ර යුදමය වාතාවරණයක් නිර්මාණය වී ඇති අතර, ඇමෙරිකානු හමුදාවන්ට පහසුකම් සපයන බවට ඉරානය එල්ල කරන චෝදනා එමීර් රාජ්‍යය ප්‍රතික්ෂේප කර තිබේ.












