අලුත්ගම පොලිස් වසමට අයත් පාදාගොඩ, යක්වත්ත ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික නිවසක කූඩුවක දමා ඇතිදැඩි කළ, රුපියල් ලක්ෂ හතක් (රු. 700,000) පමණ වටිනා මැකෝ (Macaw) වර්ගයේ දුර්ලභ ගිරවෙකු අද (17) අලුයම් කාලයේදී සොරකම් කර ඇති බව අලුත්ගම පොලිසිය පවසයි.
අදාළ ව්‍යාපාරිකයාගේ නිවෙස් පරිශ්‍රයේ ඉදිකර තිබූ විශාල පක්ෂි කූඩුවක මැකෝ වර්ගයේ ගිරවුන් දෙදෙනෙකු සිට ඇති අතර, ඉන් එක් ගිරවෙකු මෙලෙස සොරකමට ලක්ව ඇත. අද අලුයම් කාලයේදී නිවාස පරිශ්‍රයට ඇතුළු වූ අඥාත තරුණයින් දෙදෙනෙකු විසින් පක්ෂි කූඩුව බලහත්කාරයෙන් කඩා මෙම සොරකම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකාර තරුණයින් දෙදෙනා ගිරවා සොරකම් කරගෙන පලායන ආකාරය එම නිවසේ සවිකර තිබූ ආරක්ෂක (CCTV) කැමරාවල ඉතා පැහැදිලිව පටිගත වී ඇත. අලුත්ගම පොලිසිය එම සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් කවුරුන්දැයි හඳුනා ගැනීමටත්, සොරකම් කරන ලද වටිනා මැකෝ ගිරවා කඩිනමින් සොයා ගැනීමටත් පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.














