මෙරට නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් දෙදෙනෙකු වන ඉම්රාන් ක්වාජා (Imran Khwaja) සහ දේවජිත් සාකියා (Devajit Saikia) යන මහත්වරුන් අද (17) රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු මෙම විශේෂ හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ඉදිරි පරිපාලන කටයුතු, නව පාලන ව්‍යුහය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් හඳුන්වා දිය යුතු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ (Structural Reforms) පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කර ඇත.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව’ සමඟ ද මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් පිරිස ඊයේ (16) දිනයේදී විශේෂ සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයේ විනිවිදභාවය සහ පාලන ව්‍යුහය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී තිබේ.














